Sunday, 1 July 2018

වැස්ස....


වැස්ස උඹ හරි පුදුමයි

අනේ මන්දා බන් 
කවදාවත් ම
මං උඹට 
මේක කියන්න හිතන් උන්නෙ නෑ 
ඒත් ඉතින් 
අද උඹට මට 
මේක නොකියා ඉන්නත් බෑ 

උඹට වගේම තමා එයාටත්
කියන්න හිතුවෙත් නෑ 
නොකියා ඉන්නත් බෑ 

වැස්ස උඹ 
ඉස්සර වගේ නෙමෙ 
දැන් එන්නෙ නොකියමයි
අහම්බෙන් වගේ 
නොහිතපු වෙලාවක
නොහිතපු විදියට 
මහ පොළොව තෙමන්නේ

උඹේ 
එක ගිගිරුමක්
එක අකුණක් 
මට කවදාවත් 
අමතක වෙන්නේ නෑ 
දන්නවද 
ඒ ඇයි කියලා 
නෑ නේද 
ගොරවද්දි මං බයයි
අකුණු ගහද්දී ඊට වඩා බයයි 

උඹ මුලින්ම 
පොළොවට 
අරන් එන්නේ
පුංචි පුංචි වැහිබිඳු ටිකක්
ඒත් 
පස්සෙ පස්සෙ 
ලොකු ලොකු වැහි බිංදු 
දසදහස් ගාණක් 
උඹ අරන් එනවා
අච්චරට මෙච්චරයි 
කියාගන්නත්
මට තේරෙන්නේ නෑ 

ඉර ගින්නෙන් දැවිලා
වේලිලා ඉරි තැළුණු
මහ පොළොව
උඹ නිවනවා සනසනවා
උඹ එනකල්
මහ පොළොවත්
මග බලනවා
උඹ ආවම 
එයාගෙ 
හැම ගින්නක්ම 
නිවෙනවා කියලා 
මහ පොළොව දන්නවා 

උඹ හින්දා 
නහයට දැණෙන දූවිලි සුවදට
ගතට දැණෙන සීතලට
හදවතට දැණෙන සනීපෙට
සත්තකින් ම
මං හරි ආදරෙයි ❤ 
දන්නවද
හරි ආසයි 
උඹ එන හැමදාකම
දුම් ගහන කෝපි එකක් හදන්
ඩයිරියත් අතට අරන්
මගෙ පුංචි කාමර කෑල්ලේ
ජනෙල් කවුළුව ළගට වෙලා
උඹ දිහා බලන් 
උඹ ගැනම වගේම
මං ගැනත් හිතන්න 
ඒතකොට
හිතට හරි නිස්කලංකයි 

උඹට කියන්න
වැදගත් දෙයක් තියෙනවා 
උඹේ ඔක්කොම හොදයි
ඒත් වැස්ස මං 
උඹට නොකියපු දේවල් 
උඹ කවදාවත් හෙව්වේ නෑ 
උඹට නොතේරුණු දේවල් 
උඹ කවදාවත් තේරුම් ගත්තෙ නෑ 
මං උඹට 
හැමදාමත් හැමදේම 
කිව්වේ නෑ තේරුම් කළේ නෑ 
හැබැයි 
උඹට ඕන කළෙත් නෑ

උඹ වගේම තමා එයත්

නොහිතපු වෙලාවක 
නොහිතපු විදියට 
මගේ ජීවිතේට 
එයා ආවේ අහම්බෙන්
හේතුවක් ප්‍රත්‍යක්
මුකුත් නැතුව ඇවිල්ලා 
ඒ මදිවට නැවතිලා
හැමදේම සිද්ධ වුණේ අහම්බෙන් 

එයාගෙ 
දොඩමළු ඇස් 
අව්‍යාජ හිනාව
ජීවිතේ එක තැනක 
සදහටම
මාව අතරමං කළා
ඒ හින්දා 
අදටත්
මං 
ඒ ඇස්වලටයි හිනාවටයි බයයි 

එයත් 
මුලින් මුලින්
ජීවිතේට ආවේ 
ඉබිගමනෙන් වගේ
වෙලාවකට හිතෙනවා 
ඊටත් හිමින්ද මන්දා 
ඒත් ඉතින් දැන් 
හයිවේ එකේ 
ස්පීඩ් එක පරද්දලා
ආලෝකෙ වේගයට 
කිට්ටු වේගෙකින්
ජීවිතේ පුරාම 
ඇවිදගෙන යනවා

පට්ට පාළුවේ 
තට්ට තනියම ගෙවපු
ජීවිතේ එයා වෙනස් කළා
සතුටින් පුරෝලා
මතකයන් එකතු කළා
එයා ගැන 
හැම මතකයක්ම
හරි සුන්දරයි
ආදරණීයයි
මතක් කරන හැමදාමත් 
මුවට නැගෙන්නේ මදහසක්

එයා හින්දා 
ඇසට උණන කදුළකට
මුවට නැගෙණ හිනාවකට
හදවතට දැණෙන සැනසුමට
සත්තකින් ම
මං හරි ආදරෙයි ❤ 
දන්නවද 
මං හරි ආසයි
එයා එක්ක ඉන්න හැමදාකම 
පුංචි පුංචි රණ්ඩු අල්ලන්න
නැවතිල්ලක් නැතුව දොඩවන්න
පපු ගැඹුරට තුරුළු වෙන්න 
එයා එක්ක සීරුවට
එයාගෙයි මගෙයි 
පරණ මතක මතක් කරන්න
එතකොට 
හිතට හරි නිස්කලංකයි 

එයාගෙත් ඔක්කොම හොදයි 
එයත් කවදාවත් 
මං නොකිව්ව දේවල් 
මගෙන් අහලා නෑ 
එයාට නොතේරුණු දේවල් 
එයා තේරුම් අරන් නෑ 
අදටත් එයා දන්නවා 
මං නොකිව්ව දේවල් 
තිබුණා කියලා 
එයාට නොතේරුණු දේවල් 
තියෙනවා කියලා 

උඹ එයා වගේ කිව්වේ ඒකයි මං 

උඹ ඊයේ රෑ ඉදන්
චුරු චුරු ගානවා නේද 
මාත් ඊයේ රෑ ඉදන්
මේ ජනෙල් කවුළුව ළග ඉදියා
කෝපි කෝප්ප එකක් නෙමෙ
දහයක් දොළහක් ඉවර කළා
ඩයිරියෙත් පිටු ගාණක් 
මේ පැය කීපෙට පිරිලා

ඊයේ රෑ ඉදලා 
ඇයි මං මෙතන කියලා 
උඹ තාම ඇහුවේ නෑ 
එයා ඇහුවෙත් නෑ තාම

උඹෙයි එයාගෙයි 
තියෙන්නේ හරි පුදුම බැදීමක්
එයාගෙයි මගෙයි 
බැදීම වගේමයි
එයත් මං ළග උන්න 
මාත් එයා ළග උන්න
අපේ ජීවිතේ 
හැම විශේෂ දවසකම
උඹ අපි ළග උන්නා
ඉස්සරහටත් ඉදපන්

එයා නැති දාක 
උඹත් නැති වෙයි කියලයි 
මට දැන් බය
උඹ උන්නොත් 
උඹ දිහා බලන් 
එයාට කියන්න ඕන ඔක්කොම 
උඹට කියන්න මට පුළුවන් 
ඒ හින්දා 
පුළුවන් නම් 
කවදාවත් 
මාව දාලා යන්නෙ නැතුව 
මං ළග හිටපන්

එයා උඹ වගේ කියලා කියන
දාහක් අතරේ
මං කියන්නේ නම් මෙහෙමයි 

#වැස්ස_උඹ_එයා_වගෙමයි 


ආදරෙයි ❤ වැස්ස මං උඹට

5 comments:

  1. වැස්සටද
    හීතලටද
    ආදරේ
    හොයාගත
    නොහැකි තැන
    තෙමුනා මම
    හිතලේම වැස්සට...
    වතුර බින්දු
    අස්සේ හැංගුන
    හීතලට
    මට දැන් හොදටෝම කැස්ස...
    හිරිකොඩ එන
    කවුලුව වසමි
    නුදුරේදිම..
    මිය යන්නට
    පෙර හදවත..

    ReplyDelete
  2. මම අකමැතිම දේ ගැන උබ හරි ලස්සනට ලියලා බං...

    ReplyDelete

කොණ්ඩ කුරැළු පැටවු ජෝඩුවක් එක එක වර්ණයෙන් එක එක සුවඳින් පිපෙන පරවෙන මල් රටාවන් වට කර කොන්ක්‍රීට් කණුවක වේලීගෙන ඉහලට ගිය වැල...